Wn/si/කැන්සුන් දේශගුණ සමුළුව මිශ්‍ර ප්‍රතිඵල සමග අවසන් වෙයි

From Wikimedia Incubator
< Wn‎ | si
Wn > si > කැන්සුන් දේශගුණ සමුළුව මිශ්‍ර ප්‍රතිඵල සමග අවසන් වෙයි

සඳුදා, දෙසැම්බර් 13, 2010

ඉක්වදෝරයේ වැසි වනාන්තරයක්
ලෝක සිතියමේ මෙක්සිකෝවේ පිහිටීම

පසුගිය සති දෙක පුරා මෙක්සිකෝවේ කැන්සුන් නුවර දී පැවැත්වුණු ලෝක දේශගුණ වෙනස්වීම පිළිබඳ සමුළුව ඊයේ (12 වැනිදා) අවසන් විය.

රටවල් 194ක් සහභාගීවුණු මෙම සමුළුවේ දී බොලීවියාව හැර ඉතිරි රටවල් 193 අතර ගිවිසුමක් අත්සන් කරගැනීමට හැකිවීම ජයග්‍රහණයක් ලෙස විචාරකයෝ දකිති. පසුගිය වසරේ ස්වීඩනයේ කෝපන්හේගන්හි දී පැවැති සමුළුව අවසන් වූයේ කිසිදු අවසන් තීරණයකට එළඹ ගැනීමට නොහැකිවයි.

දියුණු රටවල්වලින් වසරකට ඩොලර් බිලියන ගණනක් ගෝලීය උණුසුම අවම කිරීමේ වෑයම සඳහා දුප්පත් රටවලට ප්‍රදානය කිරීමට මෙහිදී එකඟ විය. වන විනාශය නැවැත්වීමෙන් ඇතිවන ආර්ථික අලාභ අවම කිරීමට දියුණු වෙමින් පවතින රටවලට මුදල් ලබාදීමටත්, එම රටවලට වඩාත් හරිත ක්‍රම මගින් විදුලිය නිපදවීමට හැකිවන සේ නව තාක්ෂණික උපක්‍රම බෙදාහදා ගැනීමටත් තීරණය කරන ලදී. එළඹෙන වසර කිහිපය තුළ ගෝලීය උණුසුමේ වැඩිවීම සෙල්සියස් අංශක 2කට වඩා අඩුවෙන් තබාගැනීමට ද රටවල නියෝජිතයෝ එකඟතාවයට පැමිණියහ.

කෙසේ නමුත් සමුළුවේදී කාබන් මුදාහැරීම් අවම කිරීමට කිසිදු අවසන් තීරණයකට පැමිණීමට නොහැකිවීම ගැන පරිසර නියෝජිතයෝ දැඩි කණස්සල්ල පළ කරති. මෙයට හේතුව වී ඇත්තේ ලොව සුපිරිම බලවත් රටවල් දෙක වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය මේ ගැන දැඩි විරෝධතාවයක් දැක්වීමයි.

ලබන වසරේදී ලෝක දේශගුණ වෙනස්වීම පිළිබඳ සමුළුව සඳහා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී ලෝක නියෝජිතයෝ හමුවනු ඇත.

මූලාශ්‍ර[edit | edit source]